Tuesday, February 25, 2025

General line - 0115112241

ආපදාවට ලක්වූවන්ට ජනපතිගෙන් කඩිනම් සහන



පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන් ඉදිරි මාස 02 තුළ ඉදිකිරීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ සඳහා පූර්ණ සැලැස්මක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මූලිකත්වයෙන් අද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව,  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, බලපෑමට ලක්ව ඇති සියලු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල අත්‍යාවශ්‍ය නිලධාරීන් සහ ග්‍රාම සේවා නිලධාරීන් ප්‍රමුඛ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන් විපතට පත්වූවන්ට සියලු සහන සැලසීම සඳහා කටයුතු කරමින් සිටිනවා.

එම සියලු නිලධාරීන්ගේ කැපවීම අගය කළ ජනාධිපතිවරයා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත්, වහාම ආපදා තත්ත්වයන්ගෙන් ජනතාව මුදාගෙන සාමාන්‍ය ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලබාදිය හැකි සියලු සහාය නොපමාව ලබා දෙන බවත් සඳහන් කළා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් අදීප තිලකරත්න පැවසුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ට අනුබද්ධිතව පිහිටා ඇති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පූර්ණ වශයෙන් බලාත්මකව ක්‍රියාත්මක කිරීමට තමන් වෙත උපදෙස් ලැබුණු බවයි.

එහිදී ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය උපකරණ සහ ගංවතුර තත්ත්වයන් සඳහා භාවිත කළ හැකි ඕනෑම වර්ගයේ ක්‍රියාන්විත රථයක, බෝට්ටු හෝ හෙලිකොප්ටර්වල දායකත්වය ලබාදීමට එකඟත්වය පළ කළ බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව මේ වන විට නාවික හමුදාව, ගුවන් හමුදාව සහ යුද හමුදාව එම කටයුතු වෙනුවෙන් පූර්ණ වශයෙන්  කැපවී සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම අදහස් පළවූ අතර එම සාකච්ඡාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මෙන්ම අධි බලපෑම් සහිත දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

අනවශ්‍ය ආකාරයෙන් මාර්ගයට පැමිණිමෙන් වැළකී සිටින ලෙසත්, ගංවතුර හෝ ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වී ඇති ස්ථාන නැරඹීමෙන් වැළකී සිටීමට සහ ගංවතුර හෝ මාර්ගවල ජලය පිරි ඇති ස්ථානවල ජල ක්‍රීඩාවල නොයෙදෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් ද කළා. 

හදිසි ආපදා තත්ත්වයන් දැනුම් දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන්  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මකයි.

එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බව වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී කියා සිටියා. 

රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩි අවධානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක් හඳුනාගෙන ඇති අතර එම සියලු කාර්යාලවල ආපදා සහන සේවා නිලධාරීන් ඊයේ රාත්‍රියේද පූර්ණකාලීව සේවයේ නිරත වූ බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න පැවසුවා.