Wednesday, February 26, 2025

General line - 0115112241

නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍ය දූරයේ දිවුරුම් දීමට සියලු කටයුතු සූදානම් - ජනපති රනිල් මහත් හරසරින් පිළිගනියි



ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් අද පෙරවරුවේ ඉන්දියාවට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙනුවෙන් එහි අතිරේක  ලේකම් පී.කුමරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්  ෂෙනුකා  සෙනෙවිරත්න යන අය විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගෙන තිබෙනවා.
අද පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීම ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු ඉදිරියේ නවදිල්ලි රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම පිළිබඳ  ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබාදී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේද  රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.