Saturday, March 1, 2025

General line - 0115112241

හිරුණිකාගේ වාර්තාවක් වැලිකඩට



නීතියට ගරු කරමින් බන්ධනාගාර තුළ කාලය ගත කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර නිලධාරීනියන් හමුවී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

ඇය විසින් කිසිදු විශේෂ පහසුකමක් ඉල්ලාද නොමැති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

වැලිකඩ කාන්තා බන්ධනාගාරයට රැගෙන ආ මොහොතේ සිරකාරිනියන්ට නියම වූ ඇඳුම ඇඳගත් හිරුණිකා ඉන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමු කර තිබෙනවා.

ඇය ඉන්අනතුරුව රඳවනු ලැබුවේ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ආර් වාට්ටුවේයි.

එහි රඳවා සිටින අනෙකුත් කාන්තා රැඳවියන් සමඟ සුහදව හිරුණිකා කාලය ගත කරන බවයි වාර්තා වුණේ.

එමෙන්ම බන්ධනාගාර කාන්තා රැඳවියන්ට ද ඇයගෙන් කිසිදු බාධාවක් නොමැති බව ද බන්ධනාගාර ආරංචි පැවසුවා.

සිරකාරිනියක් හේතුවෙන් ඇයට පිටතින් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

ඒ අනුව සිරගත කළ දිනයේ සිට බන්ධනාගාරයෙන් නිකුත් කරන ආහාර හිරුණිකා විසින් ලබාගෙන තිබෙනවා.

මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙ වෛද්‍ය වාර්තාව බන්ධනාගාර වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව ඇයගේ සෞඛ්‍ය තත්ත්වයේ කිසිදු ගැටලුවක් නොමැති බවයි වාර්තා වුණේ.

බරපතළ වැඩ සහිතව වසර තුනක සිරදඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ සුව දුක් විමසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දේශපාලන නියෝජිතයන් කිහිපදෙනෙකු වැලිකඩ කාන්තා බන්ධනාගාර වෙත ඊයේ පැමිණ බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.