Tuesday, March 4, 2025

General line - 0115112241

ක්ලබ් වසන්තගේ පැටිකිරිය එළියට



වෙඩි ප්‍රහාර හමුවේ මියගිය ක්ලබ් වසන්ත සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට ද පොලිසිය සමත්වී තිබෙනවා.

ඔහු පාර්ශව කිහිපයකින් ණය මුදල් ලබාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

රුපියල් මිලියන 210ක ණය මුදලක් ඔහු බැංකුවකින් මීට පෙර ලබාගෙන තිබෙනවා.

කෙසේවෙතත් එම ණය මුදල ගෙවීම පැහැර හැර ඇති ඔහුට එරෙහිව අදාළ බැංකුව විසින් නඩු පවරා ඇති බව ද සඳහන්.

තවත් රුපියල් ලක්ෂ 200කට ආසන්න මුදලක් ඔහු විසින් කොළඹ බෞද්ධ සංගමයක ඉහළ තනතුරක් දැරූ පුද්ගලයෙක්ගෙන් ලබාගෙන ඇති බව ද වාර්තා වනවා. 

ක්ලබ් වසන්ත තවත් පුද්ගලයෙකුගෙන් ද රුපියල් ලක්ෂ 150ක ණය මුදලක් ලබාගෙන ඇති අතර එම ණය මුදල නොගෙවීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ තවත් නඩුවක් පවතින බව ද පොලිසිය පැවසුවා.

ඔහු විසින් භාවිත කළ වාහනය ද කුලී පදනම මත ලබාගත් එකක්. එමෙන්ම ඔහු සන්තකයේ තිබූ රත්‍රං අත් ඔරලෝසු 06ක් සහ රන් භාණ්ඩ ද උකස් කර මුදල් ලබාගෙන තිබෙනවා.

ජීවත්වීම සඳහා ක්ලබ් වසන්ත මුදල් උපයාගෙන ඇත්තේ ක්‍රීම් ආලේපනයක් නිෂ්පාදනය කර විදෙස් රටවලට යැවීමෙන් බව ද වාර්තා වුණා.

ඉන් ලක්ෂ 05ක පමණ මාසික ආදායමක් උපයාගන්නා ඔහු නිවසේ විදුලි බිල්පත ගෙවීම සඳහා එම මුදලෙන් ලක්ෂ 02ක මුදලක් වෙන්කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වුණා.  

මේ අතර අතුරුගිරියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පිනී කේ සුජීවා පැය 5 අධික කාලයක් ශල්‍ය කර්මයකට යොමු කර තිබෙනවා.

එම ශල්‍යකර්මය ඊයේ පස්වරු දෙකයි තිහට පමණ ආරම්භ කළ බවයි කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

ඊට  ප්ලාස්ටික් ශල්‍යවේදීන්, වැස්කියුල ශල්‍යවේදීන්, ඕතොපිඩික් ශල්‍යවේදීන් සහ සාමාන්‍ය ශල්‍යවේදීන් ගෙන් යුත් කණ්ඩායම් 04ක් එක්ව තිබෙනවා.

වෙඩි වැදීමෙන් කේ සුජීවාගේ වම් පාදෙහි දණහිසෙන් පහළ කොටසට දැඩි හානි සිදුව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

ඇයගේ වම් පාදය කැපීමකින් තොරව බේරා ගැනීමට එම වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් දරා තිබෙනවා.

ඒ අනුව ශල්‍ය කර්මයට භාජනය කළ කේ සුජීවා මේ වනවිට 73 වාට්ටුවට ඇතුළත් කර ඇති බවයි කොළඹ ජාතික රෝහල පැවසුවේ. 

මේ අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ තවත් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

ක්ලබ් වසන්තගේ බිරිද මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කළුබෝවිල ශීක්‍ෂණ රෝහලේයි.

තවත් කාන්තාවක් හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකුගේ මෘතදේහයන් පිළිබද මරණ පරීක්‍ෂණ අද පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ක්ලබ් වසන්ත මෙන්ම වෙඩි ප්‍රහාර හමුවේ මියගිය නයන වාසුල විජේසූරිය සම්බන්ධයෙන් ද මේ වනවිට සමාජ මාධ්‍යයේ විවිධ අදහස් පළවනවා.

ඔහු මීට පෙර ගෝනගල්දෙනිය, වහරක ප්‍රදේශයේ පැවිදි වී සිට ඇති බවටයි සඳහන් වන්නේ.

“ගම්පහ මහානාම” නමින් පැවිදි වී ඇති ඔහු එම ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ලෙස කටයුතු කර ඇති බවද සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන්.

ගායන ශිල්පිනී කේ සුජීවා සමඟ මිත්‍රවී ඇති ඔහු පසුව උපැවිදි වී ඇති බව ද වාර්තා වනවා.

“ගම්පහ මහානාම” නමින් පැවිදි වී සිටියදී ඔහුගේ පැවිදි ජීවිතය පිළිබඳ සහෝදර හිමිනමක් පළකළ අදහස් ද මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එම හිමිනම පෙන්වා දෙන්නේ කේ සුජීවා නිසා නයන වාසුලගේ ජීවිතය අහිමි වී ඇති බවයි.