Wednesday, May 21, 2025

General line - 0115112241

ගාසා තීරයේ ළදරුවන් 14,000ක් මියා යා හැකි බවට අනතුරු ඇගවීමක්



යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශයට තවත් ආධාර නොලැබුනහොත් පැය 48ක් ඇතුළත ගාසා තීරයේ ළදරුවන් 14,000ක් පමණ මිය යා හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවනවා. 

පසුගිය මාර්තු මස 02 වනදා සිට ගාසා තීරයට පැමිණෙන ආධාර සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට ඊශ්‍රායල බලධාරීන් තීරණය කළා. 

පසුව බ්‍රිතාන්‍ය , ප්‍රංශය සහ කැනඩාව ඇතුළු රටවල් 22ක් විසින් ගාසා තීරයට  ආධාර යැවීම සඳහා වහාම අවසර දෙන ලෙස මින් පෙර ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබුණා. 

ඊට ප්‍රතිචාර ලෙස සති 11කට පසු ආධාර රැගත් සීමිත ට්‍රක් රථ ප්‍රමාණයකට පමණක් ගාසා තීරයට ඇතුළු වීමට ඉඩදී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය ආධාර ප්‍රධානී ටොම් ෆ්ලෙචර් පැවසුවේ සඳුදා ගාසා තීරයට ඇතුළු වූයේ ළදරුවන් සඳහා ආහාර ඇතුළු මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ පහක් පමණක් බවයි. 

ඒ හේතුවෙන් ඉදිරි පැය 48 තුළ මානුෂීය ආධාර නොලැබුණහොත් ළදරුවන් 14,000ක් මිය යනු ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. 

මේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අද දිනය තුළ ගාසා තීරයට ළදරු ආහාර සහ පෝෂණ ද්‍රව්‍ය රැගත් තවත් ට්‍රක් රථ 100ක් යැවීමට බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.