Tuesday, March 4, 2025

General line - 0115112241

දුම්රිය වර්ජනයෙන් මගීන් මහමග - දෛනික දුම්රිය 320න් 35ක් පමණක් ධාවනයේ

නිරෝෂන්



දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රිියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් රැසක් අවලංගු වී තිබෙනවා.

දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංගම බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකිව තිබුණද වර්ජනය හේතුවෙන් මගීන් පත්වූයේ දැඩි අසීරුතාවකටයි.

නියමිත පරිදි උසස් වීම් ලබානොදීම ඇතුළු කරුණු 14ක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපති සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කළේ ඊයේ පස්වරුවේයි.

මේ හේතුවෙන් අද පෙරවරුවේ රාජකාරි සඳහා පැමිණි පිරිස් ඇතුළු දුම්රියෙන් ප්‍රවාහන සේවා සපුරා ගන්නා බොහෝ මගීන් පත් වූයේ දැඩි අපහසුතාවකටයි.


කෙසේවෙතත් දුම්රිය බලධාරීන් පැවසුවේ වර්ජනය ක්‍රියාත්මක වුවද දුම්රිය ගමන් කිහිපයක් ක්‍රියාත්මක බවයි.

ඒ අනුව කාර්යාල දුම්රිය 12ක් පමණක් ධාවනයට එක් කර තිබුණා.

ඒ අනුව කොළඹ කොටුවේ සිට මීගමුව සහ වේයන්ගොඩ බලා දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමටයි පියවර ගෙන තිබුණේ.

පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක් ධාවනය වී ඇති අතර ගාල්ල සිට කොටුවට දුම්රිය තුනක්ද, අලුත්ගම සිට එක් දුම්රියක්ද කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට පියවර ගැණුනා.

ඒ අනුව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ වර්ජනය ක්‍රියාත්මක වුවද අද අලුයම සිට පෙරවරු 11 දක්වා දුම්රිය ගමන් වාර 35ක් ක්‍රියාත්මක කර ඇති බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් වී එස් පොල්වත්තගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ එලෙස ධාවනය කෙරුණේ කාර්යල දුම්රිය පමණක් බවයි.

එම දුම්රිය පස්වරුවේ ද ධාවනය කිරීමට නියමිත බව ඔහු කියා සිටියා. සාමාන්‍යයෙන් සතියේ දිනකට ක්‍රියාත්මක දුම්රිය ගමන් වාර ගණන 320 ක් පමණ වනවා.

දුම්රිය වර්ජනයෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු ද සම්පුර්ණයෙන්ම ඇණහිට තිබුණා.

දුම්රිය වර්ජනය නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ද මගීන්ගේ දැඩි තදබදයක් දක්නට ලැබුණා.

අද උදෑසන කාර්යාලීය දුම්රිය කිහිපයක්ම අවලංගු වී තිබුණු අතර ගමන් ගත් දුම්රියන් ද දැඩි ලෙස ප්‍රමාද වීම හේතුවෙන් දුම්රිය ගමන් ගන්නා මගින් පා පුවරුවේ එල්ලි යන ආකාරය ද දැකගත හැකි වුණා.

දුම්රිය ප්‍රවේශපත්‍ර කවුළු සියල්ලම වසා දැමීම හේතුවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර නොමැතිව මගීන් ගමන් ගන්නා ආකාරයද දක්නට ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

කෙසේවෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර පැවසුවේ කිසිදු ස්ථානාධිපතිවරයෙකු මේ දක්වා සේවයට වාර්තා කර නොමැති බවයි.