හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් විශ්‍රාම ගැනීමෙන් පසුව නව නීතිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිතුරු ලිපියක් මඟින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
එමගින් ඔහු දක්වා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව නීතිපතිවරයා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය පවතින බවයි.
ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙම තනතුර සඳහා පත්කිරීමට ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවද එම ලිපිය මඟින් ජනාධිපති ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.
එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වෙත නීතිපති ධූරය ලබාදීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ අනුගමනය කර නැහැ.
ජනාධිපති නීතිඥ සරත් එන්. සිල්වා සහ ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් වැනි පසුගිය කාලය තුළ නීතිපති ධූරය සඳහා සිදුකර ඇති පත්වීම් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පරිබාහිරව සිදු කර තිබෙනවා.
එබැවින් නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බවයි මෙම ලිපිය මගින් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
හිටපු නීතිපති සංජේ රාජරත්නම් විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ නීතිපති ධූරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබුණා.