සමස්ත විදුලි ගාස්තු සියයට 22යි දශම 5කින් හෙට සිට අඩුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ගෘහස්ත අංශයේ විදුලි ගාස්තුව සියයට 27කින් අඩුවන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මන්ජුල ප්‍රනාන්දු පැවසුවේ.
ගෘහස්ත කාණ්ඩයේ ඒකක 0 සිට 60 දක්වා ඒකකයක් සඳහා අයකළ රුපියල් 25ක ගාස්තුව ද රුපියල් 10කින් අඩුකල බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ.
ඒකක 61 සිට 90 දක්වා මෙතෙක් ඒකකයක් සඳහා රුපියල් 30ක මුදලක් අයකර තිබුණා.
එම ඒකකයක මිල හෙට සිට රුපියල් 18ක් දක්වා පහත දමා තිබෙනවා.
රුපියල් 50ක්ව පැවති ඒකක 91 සිට 120 දක්වා ඒකකය මිල රුපියල් 20කින් පහත දැමීමටයි එම කොමිෂන් සභාව තීරණය කළේ.
ඒකක 121 සිට 180 දක්වා ඒකකයක් සඳහා මෙතෙක් අය කළේ රුපියල් 50ක්.
එම කාණ්ඩයේ ඒකකයක මිල හෙට සිට රුපියල් 42 දක්වා පහත දමා තිබෙනවා.
රුපියල් 75ක්ව පැවති ඒකක 180ට වැඩි ඒකකයක් සඳහා අයකරන මුදල රුපියල් 10කින් ද අඩුකර තිබෙනවා.
මේ අතර ආගමික ස්ථානවල අඩු විදුලි පරිභෝජනයක් සහිත කාණ්ඩය සඳහා මෙතෙක් අයකල රුපියල් 08 සහ 09 බැගින් වූ ඒකක මිල රුපියල් 06ක් දක්වා ද රුපියල් 18ක් වූ ඒකක මිල රුපියල් 10ක් දක්වා ද රුපියල් 32ක් වූ ඒකක මිල රුපියල් 20ක් දක්වා ද හෙට සිට අඩු කෙරෙනවා.
එමෙන්ම රුපියල් 43ක් වූ ඒකක මිල රුපියල් 30ක් දක්වා අඩුකරන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ.
සමස්තයක් ලෙස ආගමික ස්ථාන සඳහා සියයට 30කින් විදුලි ගාස්තු අඩු කෙරෙනවා.
හෝටල් සහ කර්මාන්ත අංශය සඳහා සියයට 25කින් විදුලි ගාස්තු හෙට සිට අඩු කරන බව ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවා.
පොදු කාර්ය හා රාජ්‍ය ආයතනවල විදුලි ගාස්තු ද පහළ දමන බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියේ.