මෙම වසරේ පෙබරවාරි පළමුවනදා සිට ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුළ මත්පැන් සිල්ලරට විකිණීමේ මත්පැන් අලෙවිසැල් 172 කට සහ රුපියල් මිලියන 1,000 ඉක්මවන වෙළඳ සංකීර්ණ හෝ වෙළඳසැල් සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කර ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය පවසනවා.
පසුගිය සමයේ මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන්.
2022 වසර වන තුරු සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේදී රජය මුදල් අයකර නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
සෘජු බදු සීඝ්‍ර ලෙස අහිමි වීමට විකල්පයක් ලෙස රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා මුදල් අයකර සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට එම කාලසීමාවේදී කටයුතු කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.
ඒ අනුව අදාළ බලපත්‍ර නිකුත් කිරීම මගින් මාස 09 ක කාලය තුළ රජය උපයා ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 03 යි දශම එකකට අධික බවද එම නිවේදයේ සඳහන්.
මෙම ක්‍රමය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලද අඛණ්ඩව ක්‍රියාත්ම වූයේ නම් 2024 වර්ෂය තුළ රුපියල් බිලියන 04 ඉක්මවූ ආදායමක් රජයට ලබාගත හැකි බවද රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.
පසුගිය රජය සමයේ මත්පැන් බලපත්‍ර කිසිවක් පිනට දී නොමැති බවද බංකොලොත්ව තිබූ ආර්ථිකය ගොඩනැගීම සඳහා දිගු කාලීන දැක්මක් සහිතව ක්‍රියාත්මක කරන ලද මෙම සුරා බදු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අවභාවිත කිරීම කනගාටුවට කරුණක් බවද එම නිවේදනයේ සඳහන්.
දැනට ක්‍රියාත්මක විනිවිද සහ විධිමත් නව ආදායම් මාර්ගය ඉදිරියට ගෙන යාම හෝ අහෝසි කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලය සතු බවයි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.