ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගැණුනු නියමුවන් නොමැති කුඩා ගුවන් යානය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදු කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පැවසුවේ එම යානය ටාර්ගට් ඩ්‍රෝන් වර්ගයේ ඩ්‍රෝන යානාවක් බවයි.
එය මෙරටට අයත් යානාවක් නොවන බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
ටාර්ගට් ඩ්‍රෝන් නමැති මෙම යානා වර්ගය ගුවන් හමුදා පුහුණුවීම්වලදී ගුවනේ ඉලක්ක ලෙස යොදා ගැණෙන බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව පුහුණුවීම් අතරතුර එම යානය ගිනිගෙන මුහුදට ඇද වැටී ඇති බවටයි සැක කෙරෙන්නේ.
එම යානය තුළ කිසිදු පුපුරන ද්‍රව්‍යක් තිබී නැහැ. අදාළ යානය කුමන රටකට අයත් එකක්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.
2020 වසරේ ඔඩිෂා මුහුදු ප්‍රදේශයේ තිබී මෙවැනි යානයක් ධීවරයින් විසින් සොයාගෙන ඇති අතර එය ඉන්දියානු ගුවන් හමුදාවට අයත් එකක් බව අනාවරණ වී තිබෙනවා.
ත්‍රිකුණාමල මුහුදෙන් සොයා ගැණුනු ගුවන් යානය රතු සහ කහ පැහැයෙන් යුක්ත වූ අතර 2020 වසරේ සොයා ගැණුනු යානයද ඊට සමාන වර්ණවලින් යුක්ත වූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
පුහුණුවීම් අතරතුර එය ගිනිගෙන මුහුදට වැටෙන්නට ඇති බවට සැක කෙරෙන බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ත්‍රිකුණාමලය සිට මුහුදු සැතපුම් 35ක පමණ දුරක තිබී එම කුඩා ගුවන් යානය ධීවරයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.
එය අඩි 06ක් පමණ දිගින් සහ අඩි දෙකක පමණ විෂ්කම්භයකින් යුක්තයි.
ධීවරයින් විසින් එම කුඩා යානාව ඊයේ රාත්‍රියේ ගොඩබිමට රැගෙනවිත් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබෙනවා.
පසුව ත්‍රිකුණාමල වරාය පොලීසියේ නිලධාරීන් විසින් එය පරික්‍ෂාවට ලක්කර වැඩිදුර විමර්ශන සඳහා ගුවන් හමුදාවට භාර දෙනු ලැබුවා.