Sunday, March 30, 2025

General line - 0115112241

පහත දැමුණු විදුලි ගාස්තුවේ සැබෑ සහනය ජනතාවට දෙන්න මැදිහත් වන්න - ආර්ථික විද්වතුන් රජයට කියයි



විදුලි ගාස්තු පහළ දැමීම හේතුවෙන් නිෂ්පාදනවල මිල ගණන්ද පහළ දැමිය යුතු බව ආර්ථික විද්වතුන් පවසනවා. 

ඒ අනුව විදුලි ගාස්තු පහළ යාමේ වාසිය සත්‍ය වශයෙන් ජනතාවට හිමි වන්නේදැයි රජය විසින් සොයා බැලිය යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ. 


විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් ව්‍යාපාරිකයන්ට අසීමිත ලාභ ඉපයීමට ඇති අවස්ථාද නතර කළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 


මෙම වසරේ මුල් මාස 06 සඳහා විදුලි ගාස්තු පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 20කින් අඩු කළ යුතු බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබුණා. 

ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කිරීමටයි එම කොමිෂන් සභාව කටයුතු කළේ. 

කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යංශයෙන් ලැබෙන උපදෙස් මත ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන බවයි. 

එතෙක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ අනුව විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවද ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවා. 

කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඊයේ ප්‍රකාශ කළේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ පිළිගන්නා බවයි. 

ඒ අනුව පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු සියයට 20කින් අඩු කළ බවද බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.