Thursday, February 27, 2025

General line - 0115112241

රේන්ජ් රෝවර් පදින ආණ්ඩුවේ ඇමති කවුද?



ප්‍රමාද වී ඇති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට අපේක්‍ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. 

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඔසානි උමංගා මහත්මිය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

රථවාහන ආනයනයේදී මූල්‍ය සමාගම් හෝ වෙනත් පාර්ශව ආරක්‍ෂා වන පරිදි බදු වැඩි කිරීමක් නොකළ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. 

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.  

කෙසේවෙතත් වාහන බලපත්‍ර නිකුත් කිරීමේදී දැඩි සීමාවකට යටත්ව ක්‍රියාත්මක කිරීමට සිදුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසුවා. 

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. 


මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ විශේෂ අවශ්‍යතාවක් ලෙස සලකා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතාට හැර වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ලබා දී නොමැති බවයි.

 ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එහිදී පැවසුවේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන ලබා දී නොමැති බව පැවසුවද කිහිප දෙනෙකුම රජයේ වාහන භාවිත කරන බවයි. 

පාර්ලිමේන්තුවේ සජීවි දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.