Tuesday, February 25, 2025

General line - 0115112241

පෙතියාගොඩ සංඛගේ ගෝලයෙකු අත්අඩංගුවට

කොළොන්නාව ප්‍රදීප්



කොතලාවල ලියනගේ හර්ෂ චතුරංග කුමාර පෙරේරා නොහොත් පෙතියාගොඩ සංඛ නමැත්තා මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට  සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාලය සහ ගිනි අවි ජාවාරම මෙහෙයවන බවට කරුණු අනාවරණ වී  තිබෙනවා. 

පෙතියාගොඩ පාර, අංගොඩ ප්‍රදේශයේ  පදිංචි, පෙතියාගොඩ සංඛගේ ගෝලයෙකු වන කංකානම්ගේ සුමිත්කුමාර නමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම කරුණු අනාවරණ කරගත් බවයි මුල්ලේරියාව පොලිසිය පවසන්නේ.

පෙතියාගොඩ සංඛ නමැත්තා ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංගොඩ ලොක්කාගේ දෙවන පෙළ මෙහෙයවන ගෝලයෙක් වනවා. 

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසට යාබද කැලෑ ප්‍රදේශයකින් ස්වයංක්‍රීය පිස්තෝල ගිනි අවියකට යොදන පතුරම් 73ක්, මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සොයාගත් බවයි මුලේරියාව පොලිසිය පවසන්නේ. 

එමෙන්ම මීට මාස කිහිපයකට ඉහතදී මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට අයත් කැලෑබද ප්‍රදේශවලින් සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් යැයි සැලකෙන ගිනි අවි කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.

එම ගිනි අවි මෙම සැකකරු විසින් සඟවන්නට ඇති බවයි මුල්ලේරියාව පොලීසිය සැක පළ කරන්නේ. 

මෙම ජාවාරම සඳහා සංඛ සහ ගනේමුල්ල සංජීවගේ සම්බන්ධතාවක් ඇති බවටද කරුණු අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳවද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි මුල්ලේරියාව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.