Thursday, March 13, 2025

General line - 0115112241

අමෙරිකා - රුසියානු සාම සාකච්ඡා සඳහා ඇරයුම් නොමැති වීම ගැන යුක්‍රේනය කනස්සල්ලෙන්



යුක්‍රේන යුද්ධය අවසන් කිරීම අරමුණු කර ගනිමින් සෞදි අරාබියේදී පැවැත්වීමට නියමිත අමෙරිකා - රුසියානු සාකච්ඡා සඳහා යුක්‍රේන පාර්ශවයට ආරාධනා කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

යුක්‍රේන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

සෞදි අරාබියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා වටය සඳහා යුක්‍රේන රජයේ නියෝජිතයින් සම්බන්ධ වීමට නියමිත බව ඇමරිකාව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත්දා ප්‍රකාශ කළේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් සමඟ පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුවයි. 

ඒ අනුව ඉදිරි දිනයකදී රුසියානු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් සිය නියෝජිතයින් නොමැතිව සෞදි අරාබියේදී සාකච්ඡා පැවැත්වීමේ සූදානම සම්බන්ධයෙන් යුක්‍රේනය කනස්සල්ල පළ කර ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.