නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව “ස්කයිප්” තාක්ෂණය ඔස්සේ විභාග කිරීමට කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධ නඩුවකට අදාළවයි.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී බන්ධනාගාර භාරයේ පසුවන හරක් කටා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ නැහැ.
රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ආරක්ෂක හේතුන් මත එම විත්තිකරු අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන බවයි.
එමෙන්ම අදාළ නඩුව “ස්කයිප්” තාක්ෂණය ඔස්සේ විභාග කිරීමට අවසර දෙන ලෙසත් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලීම් කෙරුණා.
මේ සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය මාර්තු මස 17 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළා.