ඊයේ රාත්‍රියේ නිවා දැමූ පිටකොටුව, බංගසාල වීදියේ වෙළෙඳසැලක හටගත් ගින්න අද අලුයම සිට යළි පැතිරෙමින් ඇතැයි ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ගින්න පළමුවරට පැතිරීම ආරම්භ වූයේ ඊයේ සවස 06යි 46ටයි.
ප්ලාස්ටික් විසිතුරු මල් අලෙවිකරණ ස්ථානයක මෙම ගින්න හටගෙන තිබුණා.
ඒ අනුව ගිනි නිවන රථ 17ක් සහ ගිනි නිවන භටයින් 63 දෙනෙකු ගින්න නිවීමට යෙදවු බවයි ගිනි නිවන දෙපාර්තමේන්තුව පැවසුවේ.
ගින්න නිවීම සඳහා නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ජල බවුසර්ද යොදාගෙන තිබුණා.
ගින්න හේතුවෙන් මහල් තුනකින් සමන්විට ගොඩනැගිල්ලේ එක් මහලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවටයි වාර්තා වන්නේ.
දැඩි පරිශ්‍රමයකින් පසුව ඊයේ රාත්‍රියේ ගින්න නිවා දැමුණා.
එහෙත් අද අලුයම 04යි 28ට පමණ ගින්න යළි පැතිරෙන බවට තොරතුරක් ලැබුණු බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 02ක් හා ගිනි නිවන භටයින් 09 දෙනෙකු පිටත් කර යැවීමටයි කටයුතු කර ඇත්තේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.