Thursday, March 6, 2025

General line - 0115112241

ශූරයින්ගේ කුසලාන අවසන් ගැටුමට නවසීලන්තය



ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට නවසීලන්තය ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, අවසන් පූර්ව තරඟයේදී දකුණු අප්‍රිකාව ලකුණු 50කින් පරාජය කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 362ක් රැස් කළා.

එහිදී රචින් රවීන්ද්‍රා ලකුණු 108ක් සහ කේන් විලියම්සන් ලකුණු 102ක් රැස් කිරීමට සමත් වුණා.

රචින් රවීන්ද්‍රා මෙලෙස රැස් කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ 05වන ශතකයයි.

එහි විශේෂත්වය වන්නේ මෙම ශතක 05ම ඔහු රැස් කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ලෝක කුසලාන තරඟාවලිවලදී වීමයි.

ඒ අනුව සිය පළමු ශතක 04 ලෝක කුසලාන තරඟාවලිවලදී රැස් කරමින් බංග්ලාදේශයේ මහමුදුල්ලා පිහිටුවා තිබූ වාර්තාව රචින් රවින්ද්‍රා මෙහිදී බිඳ දැමුවා.

ලකුණු 363ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට කඩුලු 09ක් දැවී නියමිත පන්දුවාර 50 අවසන් වනවිට රැස්කරගත හැකි වුණේ ලකුණු 312ක් පමණයි.

ඩේවිඩ් මිලර් පන්දු 67කදී නොදැවී ලකුණු 100ක් රැස් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නැහැ.

ඒ අනුව මෙවර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.

ඩුබායිහිදි මෙම තරඟය පැවැත්වෙන්නේ ලබන ඉරිදායි.