Thursday, March 6, 2025

General line - 0115112241

කළුතර මනාප යළි ගණන් කරන්නැයි ඉල්ලා රාජිතගෙන් පෙත්සමක්

උදය කුමාර



හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ඉකුත් මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් විසින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින්. 

ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ එම පෙත්සම කරුණු සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් මස 30 වනද කැඳවන ලෙසයි.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සභාපති ඇතුළු සාමාජිකයින්, කළුතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා, එම මැතිවරණයෙන්ට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. 

පෙත්සම්කරු පවසන්නේ ඉකුත් මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ගණනය කිරීමේදී ඇති වූ අවිධිමත් ක්‍රියා හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වූ බවයි. 

තමා සහ පාර්ලිමේන්තුවට තේරි පත් වූ මන්ත්‍රීවරයා අතර පවතින මනාප ඡන්ද අතර වෙනස ඡන්ද 119 ක් පමණක් බවත් ඡන්ද ගණනය කිරීමේදී ඇතිවූ අවිධිමත් ක්‍රියා හේතුවෙන් තත්ත්වය උද්ගත වූ බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉකුත් මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ කළ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කොට අලුතින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. 

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ කීර්ති තිලකරත්න මහතා සමග ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තෆා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.