Thursday, March 6, 2025

General line - 0115112241

දරුවෙකු වද හිංසාවට ලක්කර මරණයට පත් කිරීමේ චෝදනාවට කොළඹ මහාධිකරණයෙන් දෙදෙනෙකුට මරණ දඬුවම්

උදය කුමාර



දරුකමට හදා වඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක ළමයෙකු වධ හිංසාවට ලක් කර මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු  යුවලකට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් එම තීන්දුව ලබා දුන්නේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.

එලෙස දඬුවම් නියම කෙරුණේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අලි මොහොමඩ් උස්මාන් සහ මොහොමඩ් ෆාහිම් ෆාතිමා සිෆානා  යන යුවළකටයි.

2018 වසරේ මැයි මස 11 වනදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ප්‍රදේශයේදී, හදා වඩා ගැනීම සඳහා ලබාගත් අවුරුදු දෙකක පිරිමි ළමයකු වධ හිංසාවට ලක් කොට මරණය සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

එම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු සුජීව නිශ්ශංක මහතා කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන මිනී මැරීමේ චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර තිබෙන බවයි. 

තවදුරටත් තීන්දු ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා සැක සහිත ලෙස මියගිය අවුරුදු දෙකක පමණ පිරිමි ළමයෙකුගේ මෘත ශරීරයක් පරීක්ෂණයකින් තොරව වල දැමීමට  සූදානම් වන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විසින් අදාළ නිවසට ගොස් ඒ පිළිබඳ විමර්ශන සිදු කර ඇති ආකාරය පොලිස් සාක්ෂි වලින් අනාවරණය වූ බව සඳහන් කළා.

අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරින් ඒ පිළිබඳ සැකයක් ඇතිවීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවත් පොලිස් සාක්ෂිවලින් අනාවරණ වී තිබුණා.

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු අධිකරණ වෛද්‍ය වාර්තාව තුළින් මෙම දරුවා දරුණු ලෙස වධ හිංසනයට භාජනය වී තිබූ ආකාරය වෛද්‍ය සාක්ෂිවලින් අනාවරණය වී තිබූ බවත් විනිසුරුවරයා පැවසුවා.

මෙම දරුවාගේ දේහයේ තිබී තුවාල අනූවක් පමණ නිරීක්ෂණය වී ඇති අතර ඒවා පිළිස්සුම් තුවාල මෙන්ම පහරදීම් හේතුවෙන් ඇතිවූ තුවාල බවටත් වෛද්‍ය සාක්ෂිවලින් නිගමනය කර තිබුණා.

එමෙන්ම අදාළ දරුවාගේ වෘෂන කෝෂවලටද දැඩි ලෙස හානි සිදුවී තිබූ බවත් වෛද්‍ය සාක්ෂිවලින් අනාවරණ වුණා.

ඒ අනුව එම දරුවා කෲර වද හිංසනයට භාජනය වී ඇති අතර  චේතනාන්විතවම ප්‍රචණ්ඩත්වයට ලක්වීම හේතුවෙන් ඔහුගේ මරණය සිදුවී ඇති බව වෛද්‍ය සාක්ෂිවලින් නිරීක්ෂණය වී තිබෙන බවත් විනිසුරුවරයා සදහන් කළා.

එමෙන්ම කාලයක් වධ හිංසනයට භාජනය වී පිළිස්සුම්වලින් ඇතිවූ බහුවිධ තුවාල හේතුවෙන් දරුවාගේ මරණය සිදුවී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් නිගමනය කර තිබෙන බවයි විනිසුරුවරයා සඳහන් කර සිටියේ.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ විත්තිකරුවන් විසින් මියගිය දරුවා කොළඹ ළමා රෝහල අසලටම රැගෙන ගොස් ඊට ඇතුළත් නොකොට ආපසු හැරී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම බරපතල සැකයකට තුඩුදෙන කරුණක් බවයි.

අදාළ දරුවා මෙම විත්තිකරුවන් භාරයේ සිටි බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් මතුවී නොමැති බවත් විනිසුරුවරයා අවධාරණය කළා. 

සියලු සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී මියගිය දරුවා මෙම විත්තිකරුවන් භාරයේ ජීවත් වූ බව තහවුරු වී ඇති බැවින් ඉදිරිපත් වූ පර්වේෂණීය හා වෛද්‍ය සාක්ෂිවලට අනුව මෙම මරණයට විත්තිකරුවන් වගකිවයුතු බවත් විනිසුරුවරයා තීන්දු කළා.

ඒ අනුව අදාළ විත්තිකරුවන් දෙදෙනා මිනීමැරීමේ චෝදනාවට වරදකරු කරන බවත් විනිසුරුවරයා අවසන් වශයෙන් නිගමනය කළා.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරුවන් කියා සිටියේ තමන් මෙම චෝදනාවවලට නිර්දෝෂී බවයි.

තමාට තවත් දරුවන් දෙදෙනෙකු සිටින බවත් මෙම දරුවා හදා වඩා ගත්තේ තම කැමැත්තෙන් බවත් විත්තිකාරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.