Sunday, March 9, 2025

General line - 0115112241

දළදා දැක්මට එන විසි ලක්ෂයක් සැදැහැවතුන් වෙනුවෙන් මහනුවර සැරසෙයි

කමල් සුරවීර



මහනුවර ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කර ගනිමින් අප්‍රේල් මහ 18වනදා ආරම්භවීමට නියමිත ශ්‍රී දළදා දැක්ම සඳහා සැදැහැවතුන් ලක්ෂ 20කට අධික පිරිසක් මහනුවර නගරයට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස් බී එස් අබයකෝන් මහතා පවසනවා.

දින 10 කාලයක් පැවැත්වෙන දළදා දැක්ම සඳහා පැමිණෙන සැදැහැවතුන් මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී දළදා මාළිගාවට ප්‍රවේශ කර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව තප්පරයකට තිදෙනෙකු බැගින් දිනකට 60,000ක සැදැහැවතුන් පිරිසකට දළදා වන්දනා කිරීමට අවස්ථාව හිමිවන බවද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවා.

ශ්‍රී දළදා දැක්ම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

පරික්‍ෂා කර ගැනීමෙන් අනතුරුව දළදා මාළිගා පරිශ්‍රයට ඇතුළු කර ගන්නා සැදැහැවතුන් දළදා වන්දනා කිරීමෙන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ දොරටුවෙන් පිටත් කර හැරෙන අතර ඔවුන් මහමළුව සහ අවන්හල දෙසින් දළදා මාළිගා පරිශ්‍රයෙන් බැහැරට ගමන් කළ යුතු වනවා.

දළදා දැක්ම පැවැත්වෙන කාලයේදී මහනුවර නගරයේ පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති අතර එම දිනවලදී විශේෂ රථවාහන සැලැස්මක්ද මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දළදා දැක්ම සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් ශ්‍රී දළදා මාළිගාව, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මහනුවර මහනගර සභාව ඇතුළු ආයතන රැසක් එක්ව අවශ්‍ය පහසුකම් සම්පාදනය කෙරෙනවා.

පානීය ජලය, සනීපාරක්‍ෂක පහසුක, රාත්‍රී කාලයේදී දන්සැල්, දුම්රිය ඇතුළ ප්‍රවාහන පහසුකම් රැසක් ඒ යටතේ සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස් බී එස් අබයකෝන් මහතා පැවසුවා.