2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
ඒ, ඉන්දියාව සහ නවසීලන්තය අතරයි.
මෙම තරගය පැවැත්වෙන්නේ ඩුබායිහිදීයි.
මෙවර තරගාවලියේ සත්කාරකත්වය පකිස්ථානය විසින් දරනු ලැබුව ද ඉන්දියාව, පකිස්ථානයේ සංචාරය කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ ඉන්දියාව සහභාගී වන තරග සියල්ල ඩුබායිහිදී පැවැත්වීමටයි කටයුතු කර තිබුණා.
ඒ අනුව අවසන් මහා තරගය ද අද ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.
මෙම කණ්ඩායම් දෙක මූලික වටයේදී එකිනෙකා මුණගැසුනා.
එම අවස්ථාවේදී තරගය ජය ගත්තේ ඉන්දියාවයි.
ඒ අනුව ඉන්දියාව අද අවසන් මහා තරගයට පිවිසෙන්නේ අපරාජිත කණ්ඩායම ලෙසයි.
අද තරගය පැවැත්වෙන ඩුබායි තණ තීරුව දඟපන්දු යවන්නන්ට ද වැඩි වාසි ගෙන දෙන බැවින් තරගයේ වැඩි වාසිය ඉන්දියාව සතු බවටයි විචාරකයින් අනුමාන කර ඇත්තේ.
එහෙත් නවසීලන්ත පිතිකරුවන් තරගාවලිය පුරා දැක්වූ දක්ෂතා මත තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති.
මේ අතර ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවන් යුගලක් වන රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි සහභාගී වන අවසන් ශූරයින්ගේ කුසලාන තරගය මෙය වනු ඇති බවට ද විශ්වාස කෙරෙනවා.