Monday, March 10, 2025

General line - 0115112241

නීතිවිරෝධී ලෙස දඩයමේ ගිය හය දෙනෙකු සහ ගිනිඅවි රැසක් පොලිස් භාරයට



නීතිවිරෝධී ලෙස සතුන් දඩයම් කිරීමට පැමිණි සැකකරුවන් හය දෙනෙකු පේරාදෙණිය, යහලතැන්න ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පේරාදෙණිය පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාරදී තිබෙනවා.

සැකකරුවන් සතුව තිබූ බෝර 12 පතරොම් 12ක්, එම හිස්කොපු 03ක්, ජීප් රථයක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සහ දඩයම් කළ ඌරෙකු පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28ත් 71ත් අතර වයස්වල පසුවන මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණ වී තිබුණා.

පොලීසිය සිදුකල වැඩිදුර විමර්ශනවලදී යහලතැන්න ප්‍රදේශයේ කැලෑබඳ ස්ථානයක සඟවා තිබූ  බෝර 12 වර්ගයේ තවත් ගිනි අවියක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පේරාදෙණිය පොලිස් ස්ථානය මඟින් මාවතගම පොලිස් ස්ථානය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරින් එම එක් සැකකරුවෙකු පදිංචිව සිටින මාවතගම, කොටිකාපල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර බෝර 12 ගිනිඅවි 04ක්, එම පතොරම්, රිවෝල්වර් අවියක්, අත්විලංගු යුගල දෙකක් හා වායු පිස්තෝලයක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.