Thursday, April 10, 2025

General line - 0115112241

උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථාතත්ත්වයට

රංජිත් රාජපක්ෂ



බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විට යථාතත්වයට පත්කර තිබෙනවා.

එම දුම්රිය නාවලපිටිය, පල්ලේගම ප්‍රදේශයේදී ඊයේ පස්වරු 06.00ට පමණ පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබුණා.

මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ගම්පොල දුම්රිය ස්ථානයේත්, බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයෙත් අද උදෑසන වන තෙක් නතර කර තැබිමට සිදු වූ බවයි  නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

පීලි පැනීමට ලක් වූ දුම්රියේ එන්ජිම පීලිපැන අඩි 270ක් පමණ ඉදිරියට ඇදී ගොස් දුම්රිය මාර්ගය  අබියස වූ කන්දක ගැටී නතර වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම දුම්රිය මාර්ගයට ද දැඩි අලාභ හානි සිදුව ඇති බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

අද උදෑසන වන විට දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු මේ වන විට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යළි යථාතත්වයට පත්ව තිබෙනවා.