Tuesday, March 11, 2025

General line - 0115112241

බාල වයස්කාර දැරියක් ජෝර්දානයේ මෙහෙකාර සේවයට යැවූ අයෙකුට වසර 12ක සිරදඬුවමක්

උදය කුමාර



මවගෙන් හා පියාගෙන් වෙන්ව සිය මිත්තණිය භාරයේ ජීවත් වූ බාල වයස්කාරත් දැරියකට ව්‍යාජ උප්පැන්න සහතික සහ ජාතික හැදුනුම්පත් සකස් කොට ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවය සඳහා යැවීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 25,000ක දඩයක් ද නියම කෙරුණා. 

අගතියට පත් තරුණියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා, එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව වසර එක හමාරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් නියෝග කළා.

මෙලෙස දඬුවම් නියම කෙරුණේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් කාදර් සරීබ් නැමැති 59 හැවිරිදි පුද්ගලයෙකුටයි. 

බාල වයස්කාර දරුවන් වහල් වෙළඳාමට නතු කොට ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑම බරපතල වරදක් බවත් එය මනුෂ්‍යත්වයට නොගැලපෙන ක්‍රියාවක් බවත් තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළා.

සිය දරුවන්ගේ මෙන්ම අනෙකුත් දරුවන්ගේ ද ආරක්ෂාව හා සුභසාධනය සහතික කිරීම වැඩිහිටියන්ගේ වගකීම යැයි පෙන්වා දුන් විනිසුරුවරයා විත්තිකරු එම වගකීම පැහැර හැර තිබෙන බවටත් චෝදනා කළා.


අගතියට පත් දැරිය විදේශගත වී මාස දෙකක් තුළ ඇය සේවය කළ නිවැසියන්ගේ වද හිංසාවලට පාත්‍ර වී තිබෙන බවත් පසුව ඇය මෙරටට පැමිණි බවත් පෙන්වා දුන් විනිසුරුවරයා ඇය යළි මෙරටට නොපැමිණියේ නම් මැදපෙරදිග දී ජීවිතය අහිමි කරගත් රිසානා දැරියට අත් වූ ඉරණම මෙම දැරියට ද අත්වීමට ඉඩ තිබූ බවත් සඳහන් කළා. 

2008 වසරේ යළි දිවයිනට පැමිණි මෙම දැරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව විත්තිකරුට එරෙහිව මෙම අධිචෝදනා පත්‍රය අධිකරණයට ඉදිරිපත් වන්නේ වසර නවයක් ගත වීමෙන් පසුව බවත් මෙම නඩු තීන්දුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරිය වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා සිය තීන්දුව තුළින් වැඩිදුරටත් නියෝග කළා.