Wednesday, March 12, 2025

General line - 0115112241

ආන්දෝලනයට තුඩු දුන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ළමයෙකු මිය යාමේ සිද්ධියේ මහේස්ත්‍රාත් පරීක්‍ෂණ තීන්දුව ප්‍රකාශයට.



මෑතකදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් කෙරුණු කොටහේන ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි හම්දි ෆස්ලිම් නමැති පිරිමි දරුවෙකු මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා සඳහන් කළේ ආසාදනය වී තිබූ එක් වකුගඩුවක් සැත්කමකින් ඉවත් කිරීමෙන් අනතුරුව මූත්‍රා පෙරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇති වූ කම්පනය හේතුවෙන් මෙම දරුවාගේ මරණය සිදුවී ඇති බවයි.

ඒ අනුව මෙම දරුවාගේ මරණය රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් සිදුව ඇති බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

තම දරුවා වකුගඩු සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් මියගිය බව පවසමින් දරුවාගේ දෙමව්පියන් විසින් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කෙරුණා.