පසුගිය 10 වනදා දූෂණයට ලක්වූ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරියගේ පැමිණිල්ල සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් පොලීසිය අද අධිකරණයට කරුණු වාර්තා කළා.
පසුගිය 10වන දින සවස 3යි 30 දක්වා තමා රාජකාරි කල බවත් රාජකාරි නිමවා නේවාසිකාගාරයට පැමිණ පසුව ත්‍රිරෝද රථයක නැගී රුවන්වැලිසෑයට ගොස් රුවන්වැලිසෑය වැඳ පුදා ගෙන නැවත ත්‍රිරෝද රථයකින් සවස 6යි 30ට පමණ නේවාසිකාගාරයට පැමිණි අවස්ථාවේදී තමන් මෙම සිද්ධියට මුහුණ දුන් බවයි එම වෛද්‍යවරිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ.
තමන් කාමරයට ඇතුළුවීමට දොර අරින අවස්ථාවේ තමා පිටුපසින් කිසිවෙකු සිටින බව දැනී පිටුපස හැරී බලනවාත් සමඟම තම කාමරයට ඉදිරිපස කාමරයේ දොරට හේත්තු වී සිටි පුද්ගලයෙකු බෙල්ලට පිහියක් තබා අනෙක් අතින් කට වසා “කෑ ගහන්න එපා දොර අරන්න” කියා පැවසීමෙන් පසුව බිය වූ තමා කාමරයේ දොර විවෘත කළ බව ඇය පවසා තිබෙනවා.
පසුව එම පුද්ගලයා තමන්ව කාමරයට තල්ලු කර ගෙන ගොස් ටී ෂර්ට් එකකින් කට වසා තමා බරපතල ලෙස දූෂණය කළ බවත් එම වෛද්‍යවරිය සිය පැමිණිල්ල මගින් පවසා ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජව ජයසූරිය මහතාට දැනුම් දුන්නා.
තමා දූෂණය කළ පුද්ගලයා අඩි 5යි අගල් 8ක් පමණ උස පුද්ගලයෙකු බවත් ඔහු කමිසයක් ඇඳ නොසිටි තලෙළු කෙට්ටු පුද්ගලයෙකු බවත් කොණ්ඩය කොටට කපා සිටි අයෙකු බවත් අපිළිවෙලට සහ අපිරිසිදුව සිටි බවත් වයස අවුරුදු 30 ක් 35 ක් අතර අයෙකු බවත් වෛද්‍යවරිය ප්‍රකාශ කොට ඇති බවයි පොලිසිය බී වාර්තාව මගින් අධිකරණයට දැනුම් දුන්නේ.
එම පුද්ගලයාගේ උකුලේ වම් පසට වන්නට පච්චයක සළකුණක් දුටු බවත් තමා බලහත්කාරයෙන් දූෂණය කිරීමට පෙර ඔහු කාමරයේ දොර වසා විදුලි පහන් දල්වා අවට පරික්ෂා කර බලා පසුව නාන කාමරයේ පමණක් විදුලි පහන් දල්වා එහි දොර අඩවල් කර කාමරයේ විදුලි පහන් නිවා දැමූ බවයි එම වෛද්‍යවරිය පවසා ඇත්තේ.
“මම ආමි එකෙන් පැනලා ඉන්නේ පෙලිසියෙන් හොයනවා - මම ටිකක් වෙලා ඉදලා යනවා - ඔයාට මොකුත් කරන්නේ නැහැ - සද්ද දාන්න එපා - සද්ද දැම්මොත් බෙල්ල කපනවා - මට ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙයි” යනුවෙන් එම පුද්ගලයා ප්‍රකාශ කල බවද වෛද්‍යවරිය ස්වකීය ප්‍රකාශයේදී පැවසූ බව පොලිසියට අධිකරණයට දැනුම් දුන්නා.
පසුව තමා අසලින් වාඩි වුන එම පුද්ගලයා තමාගේ අත් දෙක ඉදිරියට කර රෙද්දකින් බැඳ, ඇදේ තිබූ කහ පාට රෙද්දකින් තමාගේ කට බැන්ද බවත් පසුව තමාගේ දුරකථනය කෝ යනුවෙන් විමසු බවත් එම අවස්ථාවේ තමා අත් දෙකෙන් හෑන්ඩ් බෑගය පෙන්වූ බවත්, තමා ලවාම ජංගම දුරකථනයේ මුරපදය ඉවත් කරවාගෙන දුරකථනයෙන් හිංදි සිංදුවක් වාදනය වීමට සැලැස්වු බවත් වෛද්‍යවරිය පවසා තිබෙනවා.
පසුව එම පුද්ගලයා බලහත්කාරයෙන් තමා දූෂණය කිරීමට උත්සහ ගත් අවස්ථවේ ඔහු අත තිබූ පිහියෙන් තමා එම පුද්ගලයාට ඇනීමට උත්සහ කල බවත් එම අවස්ථාවේ එම පිහියට තමාගේ අතක් කැපුනු බවත්, එම අවස්ථාවේ දැඩි කෝපයට පත් වුන එම පුද්ගලයා ඇඳ ඇතිරිල්ලක් ඉරා එයින් තමාගේ අත් දෙක පිටු පසට කර බැද තවත් රෙද්දකින් තමාගේ කට බැඳ දැමූ බවත් එම අවස්ථාවේ එම පුද්ගලයා තමා මාව මරා දමාවි යැයි බියක් දැනුනු බැවින් ඔහු කී සිය`එ දේවල් වලට එකඟ වීමටත් කිරීමටත් තමාට සිදුවූ බවත් ඇය පවසා තිබෙනවා.
පසුව එම පුද්ගලයා ඔහු අත තිබූ පිහියෙක් තම ශරීරයේ ඇඳුම් කපා ඉවත් කල බවද එම වෛද්‍යවරිය ප්‍රකාශ කළ බව පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියා.
තමා දූෂණය කල එම පුද්ගලයා පසුව තමාගේ හෑන්ඩ් බෑගයේ සිප් අරින ශබ්දය සහ කාමරයේ තිබූ භාණ්ඩ අදින ශබ්දය ඇසනු බවත් පසුව තමා ඇදෙන් බස්සවා කකුල් දෙක බැද දමා එක් අතක් ඇදට තබා බැද එහි ගැටය මතින් අනෙක් අත බැඳ “මම පෝන් එක ගෙනි යනවා - ආයෙත් හම්බ වෙයි කියලා හිතන්න එපා - මම සේරම පොටෝ ගත්තා, එලියට ගිහින් කිව්වොත් ඔයාටමයි ප්‍රශ්නයක් වෙන්නේ - කාටවත් කියන්න එපා - මම කරපු දේට මට සමාවෙන්න - බෙහෙත් බොන්න” යනුවෙන් ප්‍රකාශ කල බවත් වෛද්‍යවරිය ප්‍රකාශ කර ඇති බවද පොලීසිය සඳහන් කළා.
මෙම සිද්ධියෙන් පසුව එම පුද්ගලයා පිටව ගොස් විනාඩි 5 කට පසුව බැද තිබු බැමි තමා විසින්ම අත් දෙකින් සහ කකුල් දෙකින් ලෙහා ගෙන පරික්ෂා කර බැලීමේදී දොර වසා තිබුනු බවත් ජනේලයක් විවෘත කර තිබු බවත් ඇති වූ අප්‍රසන්නභාවය නිසා ස්නානය කර අනුරාධපුර ශික්ෂණ රෝහලට ගොස් තමා සේවය කරන වාට්ටුවේ සිටි වෛද්‍යවරයාට මෙම සිද්ධිය දැනුම් දී පසුව එම වෛද්‍යවරයාගේ දුරකථනයෙන් සිය පියාට සහ තම ලඟම මිතුරාට දැනුම් දුන් බවත් තමා මින් පෙර කිසිදු දිනයක පිරිමියෙකු සමඟ ලිංගික සම්බන්ධතා සහ ප්‍රේම සම්බන්ධතා පවත්වා නැති බවත් වෛද්‍යවරිය තවදුරටත් පවසා තිබෙනවා.
තමාට මෙම අපරධය සිදු කල පුද්ගලයා නැවත දුටුව හොත් හඳුනා ගැනීමට හැකි බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.
මෙම අපරාධය සම්බන්ධයනේ තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.
මෙම කරුණු සැළකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා පොලිසියට නියෝග කලේ මෙම අපරාධය සම්බන්ධය සිදු කරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරනයට ඉදිරිපත් කරන ලෙසයි.
අනුරාධපුර කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ සෘජු අධීක්ෂණය යටතතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.