Saturday, March 15, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා මාස්ටර් පැරදූ කොදෙව් මාස්ටර් කණ්ඩායම අවසන් මහා තරඟයට



2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායමට එරෙහිව ලකුණු 06ක ජයක් වාර්තා කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව් මාස්ටර් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී රැස්කළ ලකණු සංඛ්‍යාව 179ක්.

දිනේෂ් රැම්ඩින් පන්දු 22 කදී නොදැවී ලකුණු 50ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර 04ක් ඇතුළත්.

නායක බ්‍රයන් ලාරා ලකුණු 41යි.

පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප්, ජීවන් මෙන්ඩිස් සහ අසේල ගුණරත්න එක් කඩුල්ල බැගින් දවා ගත්තා. 

ජයග්‍රාහී ලකුණු 180ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 173ක් පමණයි.

අසේල ගුණරත්න පන්දු 42කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 66ක්.

උපුල් තරංගට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 30ක් පමණයි. ඉසුරු උදාන ලකුණු 21යි.

නායක කුමාර් සංගක්කාර ලකුණු 17ක් රැස් කර සිටියදී දැවී ගියා.

සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 12 සීමාව පසුකර යාමට කොදෙව් මාස්ටර් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව 2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ඉන්දීය සහ කොදෙව් කණ්ඩායම් අතර හෙට පැවැත්වෙනවා.