Sunday, March 16, 2025

General line - 0115112241

අල්ලස් ගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට



රුපියල් 1,500ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරහේන ප්‍රදේශයේ දේවස්ථාන භූමියකදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.

ඒ, අඩිප්පල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි. 

පැමිණිලිකරුට විදේශගත වීමට අවශ්‍ය පොලිස් නිෂ්කාශන වාර්තාව ලබාදීම සඳහා සුදුසු බවට නිර්දේශ කරනු ලබන වාර්තාව ලබාදීම වෙනුවෙන් එම පොලිස් කොස්තාපල්වරයා විසින් පළමුව රුපියල් 2,000ක මුදලක් ඉල්ලා තිබෙනවා.

එම මුදල රුපියල් 1,500 දක්වා අඩුකර එය ලබා ගැනීමේදී ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ සේවයේ නියුතු එම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.