Sunday, March 16, 2025

General line - 0115112241

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි



බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

අදියර දෙකක් යටතේ විවාදය පැවැත්වීමට නියමිතයි.

අප්‍රේල් 10 වන බ්‍රහස්පතින්දා පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 11.00 සිට පෙරවරු 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බවයි  

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

පෙරවරු 11.30 සිට පස්වරු 05.30 දක්වා “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය පැවැත්වීමටත් එහිදී තීරණය කර ඇති අතර එය දෙදින විවාදයක් ලෙස පැවැත්වීම සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමටත් එහිදී තීරණය කර තිබෙනවා.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගිය 14 වනදා සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවයි.

මේ අතර දේශීය ආදයම් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මේ මස 20 වනදා, අයවැය කාරක සභා විවාදයෙන් අනතුරුව පස්වරු 06.00 සිට  08.00 දක්වා  පැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම තීරණය ගත් බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුව අප්‍රේල් මස 08 සහ 09 යන දිනවල රැස්වීමට ද එහිදී තීරණය වී තිබෙනවා.