Sunday, March 16, 2025

General line - 0115112241

ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික හිරිහැර කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට

ටී කේ ජී කපිල



සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සේවය කරමින් සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කිරීමට තැත්කළ මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ, ගුවන් තොටුපොළ පොලීසිය විසින්. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු ඊයේ රාත්‍රී 10.00ට සිංගප්පුරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එලෙස පැමිණෙන අතරවාරයේදී සැකකරු අධික ලෙස බීමත්ව සිට ඇති අතර එම ගුවන් යානයේ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කිරීමට උත්සාහා දරා ඇති බවයි වාර්තා වන්නේ.

එම සිදුවීම සම්බන්ධව ගුවන් සේවිකාවන් දෙදෙනා ගුවන් යානයේ නියමුවා වෙත වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරු පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ පාලක මැදිරි මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කටුනායක පොලීසිය වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම සිදුවීම සම්බන්ධව ගුවන් සේවිකාවන් දෙදෙනාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාළ ගුවන් මගියා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධික ලෙස බීමත්ව සිටින බවට ද තහවුරු කරගෙන තිබෙනවා. 

එම සිදුවීම ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ සිදුව ඇති බැවින් සැකකරු අද කොළඹ අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.