Tuesday, March 18, 2025

General line - 0115112241

2025 මාස්ටර්ස් ලීග් ශූරතාවය ටෙන්ඩුල්කාර්ගේ ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායමට



2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සචින් ටෙන්ඩුර්කාර් නායකත්වය දැරූ ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, ජායිපූර්හිදී පැවති එම තරගයේ අවසන් මහා තරගයේදී බ්‍රයන් ලාරා නායකත්වය දුන් වෙස්ට් ඉන්ඩීස් මාස්ටර්ස් කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමින්. 

මෙම තරගයේ කාසිය වාසිය හිමි කරගෙන පළමුව පන්දුවට පහරදුන් වෙස්ට් ඉන්ඩීස් මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 148ක් රැස් කළා.

ලෙන්ඩල් සිමන්ස් පන්දු 41කදී ලකුණු 57ක් රැස් කළේ හතරේ පහර 05ක් සහ එක් හයේ පහරක් සමඟයි.

පන්දු යැවීමේදී විනෙයි කුමාර් ලකුණු 26කට කඩුලු 03ක් දවා ගත්තා. 

ලකුණු 149ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවකදී කඩුලු 04ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

අම්බාටි රයුදු පන්දු 50කදී ලකුණු 74ක් රැස් කළේ හතරේ පහර 09ක් සහ හයේ පහර 03ක් සමඟයි.

සචින් ටෙන්ඩුල්කාර් පන්දු 18කදී ලකුණු 25ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 02ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.