Tuesday, March 18, 2025

General line - 0115112241

පොල්දූව වටරවුමේ විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්



පාර්ලිමේන්තුව ඉදිරිපිටි පොල්දූව වටරවුම ආශ්‍රිත මාර්ග අවහිර වන සේ විරෝධතා ව්‍යාපාර සහ සත්‍යග්‍රාහ පැවැත්වීම වලක්වාලමින් කොළඹ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අද සිට ලබන 21 වනදා දක්වා එවැනි විරෝධතා පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත පොලීසිය අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමක් අනුවයි.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ, එම සංගමයේ දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්, මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක සහ බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්.එම්.එල්. රන්වල යන වගඋත්තරකරුවන් වෙත එම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද සිට ලබන 21 වන දින දක්වා පොල්දූව වටරවුම ආශ්‍රිතව පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරයේදී හා සත්‍යග්‍රාහයේදී මහජනතාවට සහ පදිකයින්ට අවහිර බාධා වන සේ මාර්ග හරස් කර විරෝධතා පැවැත්වීමේ තහනම් වන බවයි අදාළ නියෝගයේ දක්වා ඇත්තේ.

එමෙන්ම මහජන නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝණය වන අයුරින් උද්ඝොෂණ සිදු කිරීම තහනම් බවටද එම වගඋත්තරකරුවන් වෙත අධිකරණය මඟින් නියෝග කර තිබෙනවා.