මන්නාරම, වෙඩිතලතීවූ ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ගෙන තිබූ තීරණය ඉවත් කරගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලයට දැනුම් දී ඇතැයි නීතිපතිවරයා මෝසමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව එම ව්‍යාපෘතියට එරෙහිව පෙත්සම්කරුවන් පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේ අදාල කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කරමින්.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අද එස්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැඳවනු ලැබුවා.
මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂණ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව නීතිපතිවරයා විසින් ඉකුත් පෙබරවාරි 21 වනදා අධිකරණයට මෝසමක් ගොනු කර තිබෙන බව සඳහන් කළා.
ඒ තුළින් අදාල ව්‍යාපෘතිය ඉවත් කරගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙන බව සඳහන් කොට ඇති බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය. අවන්ති පෙරේරා මහත්මිය ද සඳහන් කළේ ඒ අනුව අදාල ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන නොයාමට රජය තීරණය කර තිබෙන බවයි.
මෙම කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වන හෙයින් අදාල ව්‍යාපෘතියට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ක් ඉල්ලා අස්කර ගන්නා බවත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් එහිදී දැනුම් දුන්නා.
ඒ අනුව අදාල පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා. පෙත්සම්කරුවන් සිය පෙත්සම් තුළින් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මන්නාරම, වෙඩිතලතිවූ ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය ක්‍රියාත්මක වුවහොත් දැඩි පාරිසරික හානියක් සිදුවිය හැකි බවයි.
මේ අතර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා.
මන්නාරම, වෙඩිතලතීවූ ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත් වන බව ඉන්දියාවේ අදානි සමාගම මීට පෙර නිල වශයෙන් දැනුම් දී තිබුණා.