Wednesday, March 19, 2025

General line - 0115112241

නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ජනපති පොලීසියටම කියා දෙයි



කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සඳහා දේශපාලන අධිකාරිය ලෙස පහසුකම් සැපයීමට තම රජය කටයුතු කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඒ, දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

රටේ මූලික නීතියට සියලුදෙනා යටත් විය යුතු බවත් එම නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

බලපෑම්වලින් තොරව පුරවැසියාගේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන ලෙසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධ වාර්තා පිළිබඳ දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

අපරාධ මර්දනයට අදාළව ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසයි එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ.