2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.
ඔහු අධිකරණයට පැමිණියේ අද පෙරවරු 08යි 30ට පමණයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට භාර වීම සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේ මෙලෙසයි.
2023 වසරේ දෙසැම්බර් 31 වනදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් හරක් කටාගේ සමීපතමයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර වැලිගම ප්‍රදේශයට ගොස් තිබුණා.
එහිදී වැලිගම පිහිටි W15 හෝටලය දෙස සිට සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් වෙත ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ඒ දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අතර වැලිගම පොලිස් ස්ථානයට අයත් ජංගම මුර සංචාරක රථයක් පැමිණ පොලිස් නිලධාරීන් පැමිණි වෑන් රථයට වෙඩි තබා තිබුණා.
එම වෑන් රථෙය් සිටින්නේ අපරාධකරුවන් යැයි වරදවා වටහා ගනිමින් සිදු කළ එම වෙඩි තැබීමෙන් වෑන් රථයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි වැදී තුවාල ලැබුවා.
එහිදී රෝහල්ගත කළ එක් පොලිස් නිලධාරියෙකු පසුව ජීවිතක්ෂයට පත්වුණා.
අදාළ මූලික මරණ පරීක්ෂණය මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වූ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ පෙබරවාරි 27 වනදායි.
ඒ අනුව එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහිදී නියෝග කර තිබුණා.
එමෙන්ම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විදේශගත වීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පැනවුවා.
අධිකරණය වරෙන්තු නිකුත් කෙරුණද දේශබන්දු තෙන්නකෝන් මහතා මේ දක්වා සොයා ගැනීමට පොලීසියට හැකි වුණේ නැහැ.
පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් රිට් පෙත්සමක්ද අභියාචනාධිකරණය හමුවේ ගොනු කළා.
එහෙත් අධිකරණය මඟහැර සැඟව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කිරීමටයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් බී. ඒ. අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉකුත් දා නියෝග කළේ.
මේ අතරතුර දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඉකුත් 17වනදා තීරණය කළා.
දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහිදී නියෝග කෙරුණා.
එවන් පසුබිමකයි දේශබන්දු තෙන්නකෝන් මහතා අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණේ.