Thursday, March 20, 2025

General line - 0115112241

රුපියල් කෝටි 46කට අධික වටිනා හොරයින් මත් කුඩු තොගයක් සමග රියදුරෙක් අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන් ජයසිංහ



රුපියල් කෝටි 46 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග මාතර කාර්මික විද්‍යාලයේ හිටපු රියදුරෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

එම සැකකරු සමග කිලෝ ගෑම් 33ක ට අධික මත්කුඩු තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර මාතර දික්වැල්ල ඌරුගමුව  රදම්පොළ ප්‍රදේශයේ නිවසක  මත්ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට  පොලිස් මත්ද්‍රව්‍ය නාසක කාර්යාංශයට ලද තොරතුරකට අනුව  සිදු කළවැටලීමේදී  සැකකරුගේ නිවසේ රහසිගත කාමරයක  අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසනවා.

එම මත්ද්‍රව්‍ය තොගය ඇසුරුම් විසි නවයක විවිධ ලාංඡන සහිතව සකස් කර තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන  නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයා වන රන් උළුගේ චරිත් සඳකැලුම් නොහොත් රන් මල්ලි නැමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය දික්වැල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක පාසල් මිතුරෙකු වන  සැකකරුට මුහුදු මාර්ගය ඔස්සේ එවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මීට මාස දෙකකට පමණ ඉහතදී මාතර කාර්මික විද්‍යාලයේ රියදුරු රැකියාවෙන් ඉවත්ව ඇති බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

43 හැවිරිදි සැකකරු තිදරුපියකු වන අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවූම් නියෝග ලබාගෙන  වැඩිදුරටත් විමර්ශන සිදු කිරීමට නියමිත බවයි වැඩි දුරටත් සදහන් කල සිටියේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂකවරයකුගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කෙරෙනවා.