Friday, March 21, 2025

General line - 0115112241

දේශබන්දු අප්‍රේල් 03 දක්වා රිමාන්ඩ්



සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස 03වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද නියෝග කළා.

ඒ, අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අද පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී දේශබන්දු තෙන්කොන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විරෝධතාද සැලකිල්ලට ගෙනයි. 

අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ අධිකරණයට භාර වුණේ දින 20ක කාලයක් සැඟව සිටීමෙන් අනතුරුවයි.

මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට 2023 වසරේ දෙසැම්බර් 31වනදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව ඔහු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේ පසුගිය මස 27 වනදායි.

තමන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඉකුත් 17 වනදා තීන්දු කළා. 

මේ අතර රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ රැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ, වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ආරක්‍ෂාවද සැලකිල්ලට ගෙනයි.