Friday, March 21, 2025

General line - 0115112241

පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකර වාර්තාකරන ලෙස නියෝගයක්

උදය කුමාර



නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට අද නියම කළා.

ඒ, පියුමි හංසමාලිගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව ඊට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැදවූ අවස්ථාවේදීයි.

එම මෝසම කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා අද දින අධිකරණයේ පෙනී සිටියා.

එහිදී පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමුදු හේවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායිකාව රූපලාවණ්‍ය ආලේපන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවයි.

තම සේවාදායිකාව අඩු මිලකට අදාළ ආලේපන ලබාගෙන ඒවා ඉහළ මිලකට අලෙවි කරන බවට ඊයේ දින සියලු මාධ්‍යවලින් ප්‍රවෘත්ති පළකර තිබූ බව පෙන්වා දුන් එම නීතිඥවරයා එය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ තුළින් සිය සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවන බවත් සඳහන් කළා.

ඒ අනුව තම සේවා දායිකාවගේ ව්‍යාපාරයට අගතියක් සිදුවන ආකාරයෙන් විමර්ශන මෙහෙයවීමට වැළැක්වීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ නීති විරෝධී වත්කම් විමර්ශනය ඒකකයේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ පියුමි හංසමාලි නමැත්තිය තිස්දහසකට අධික පිරිසකට තමන්ගේ ආලේපන කුරියර් මාර්ගයෙන් විකුණා තිබෙන බවයි.

2023 වසරේ නොවැම්බර් මස 22 වන දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ප්‍රබල කොකේන් ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් අතර එම ජාවරම්කරු හා මෙම තැනැත්තිය අතර සම්බන්ධයක් පැවති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද ඔහු කියා සිටියා.

එම නිසා පියුමි හංසමාලි විසින් කූරියර් මාර්ගයෙන් අලෙවිකර තිබුනේ සත්‍ය වශයෙන්ම ආලේපන ද එසේත් නැත්නම් කිසියම් නීති විරෝධී ද්‍රව්‍යයක් ද යන්න අනාවරණය කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට සිදුවී ඇතැයි පෙන්වා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ යටතේ අවශ්‍ය පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සිදු වී ඇති බවත් කියා සිටියා.

ඒ අනුව මෙම තැනැත්තිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බැවින් ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීමට වග බලා ගන්නැයි නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම තැනැත්තියගේ ව්‍යාපාරයට හානියක් නොවීමට වගබලා ගත යුතු බවත් සඳහන් කළා.