ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 10 දෙනාලබන 04 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
ඒ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සැකකරුවන් “ස්කයිප්” තාක්ෂණය ඔස්සේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියේ තුන්වන සැකකරු වශයෙන් නම්කර සිටින මීගමුව පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා සහ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ඉෂාරා සෙව්වන්දි යන කාන්තාව අතර සම්බන්ධතා පැවැති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.
එම සැකකාරිය විසින් සිය දුරකථනය ඔස්සේ මෙම තුන්වන සැකකරුට ගිනි අවි දෙකක් පිළිබඳ ඡායාරූප ඒවා ඇති අතර ඒවා ඔහු විසින් මකා දමා තිබූ බව සඳහන් කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පසුව සිදු කළ විමර්ශනවලදී එම ඡායාරූප යළි සොයා ගත් බවත් පැවසුවා.
එම ඡායාරූපවල තිබෙන ගිනි අවිවලින් එකක් මෙම වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනි අවිය බවට සැක කරන බවත් අනෙක් ගිනි අවිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය පැවසුවා.
මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 55 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර රාජ්‍ය ආයතනවලින් තවත් සාක්ෂි 25ක් පමණ එක් රැස් කරගෙන තිබෙන බවත් පොලිසිය සඳහන් කර සිටියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන අතුරුගිරිය පොලිසියේ සේවය කළ නිලධාරියාට එරෙහිව සෘජු සාක්ෂි අනාවරණය වී තිබෙන බවත් පොලිසිය පැවසුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන අතර සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් යළි ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියම කළේ.