සිය මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන ලෙස දන්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ලිපියක් යොමු කර තිබෙනවා.
අයවැය විවාදයේ පිළිතුරු කතාව කරමින් ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා.
මන්ත්‍රීවරුන්ට ලැබෙන විශ්‍රාම වැටුපද අහෝසි කරන බවත් ඊට අදාළ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.
මේ අතර, 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීම ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
එහිදී විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 159ක්ද විපක්ෂව ඡන්ද 45ක්ද හිමිවුණා.
ඒ අනුව මෙම වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 114කින් සම්මත වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කථාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉකුත් පෙබරවාරි මස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
අනතුරුව පෙබරවාරි 18වනදා සිට 25 වනදා දක්වා දින 07ක් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වුණා.
ඒ අනුව පෙබරවාරි 25 වනදා පැවති විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරකසභා අවස්ථා විවාදය පසුගිය පෙබරවාරි 27 වනදා සිට ඊයේ දිනය දක්වා දින 19ක් පැවැත්වුණ අතර එහිදී විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීම වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.