පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කෙරුණු පෙත්සම් 16ක් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 01 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.
ඒ, එම පෙත්සම එස්. තුරෙයි රාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ දැනුම් දුන්නේ මෙම ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පිළිබඳව මැතිවරණ කොමිසම කරුණු අධ්‍යයනය කරමින් සිටින අතර එහි තීරණය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව පෙත්සම ලබන 01 වනදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින එම ඉල්ලීම් පිළිබඳව කරුණු සලකා බලන බව නිවේදනය කළා.
මහනුවර, නුවරඑළිය, කිලිනොච්චිය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් එම නාම යෝජනා යළි භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.