Tuesday, April 1, 2025

General line - 0115112241

මියන්මාරයට රටවල් රැසකින් මානුෂීය ආධාර ළඟාවෙයි



මියන්මාරයේ ඇති වූ රික්ටර් මාපකයේ 7යි දශම 7ක භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 1,644 දෙනෙකු මිය ගොස් 3,408 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පුද්ගලයින් 139 දෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් බොහෝ දෙනෙක් සුන්බුන් අතර සිරවී ඇති බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියන්මාරය, තායිලන්තය සහ චීනයේ ප්‍රදේශ ගණනාවකට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් අවතැන්වූවන්ට සහන සැලසීම සදහා විදෙස් රටවල් කිහිපයකින්ම තව දුරටත් සහන කණ්ඩායම් යොමු කර තිබෙනවා.

ඉන්දියාව ‘ඔපරේෂන් බ්‍රහ්ම’ නමින් මානුෂිය ආධාර බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒ අනුව වෛද්‍ය නිලධාරීන් 118 දෙනෙකු සහ සහන ද්‍රව්‍ය ටොන් 60ක් රැගත් ගුවන් යානා දෙකක් සහ අතිරේක සැපයුම් රැගත් ගුවන් යානයක්, ක්ෂේත්‍ර රෝහලක් සහිත නාවික යාත්‍රා දෙකක් යවා තිබෙන බවයි වාර්තා වන්නේ.  

මෙම සහන ද්‍රව්‍ය අද උදෑසන යැන්ගොන් වෙත ගොඩ බෑ බවත් මෙය පළමු සහන වාරිකය පමණක් වන අතර තවත් සහනාධාර ඉදිරි දින කිහිපයේදී යොමු කරන බවයි  ඉන්දීය බලධාරීන් පවසන්නේ.        

මේ අතර චීනය විසින් සාමාජිකයින් 82 දෙනෙකුගෙන් යුත් ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ යුනාන් පළාතෙන් වෙනම කණ්ඩායමක් යැන්ගොන් වෙත පැමිණ තිබෙනවා.

බීජිං හදිසි ආධාර සඳහා යුවාන් මිලියන 100 ක් (ඩොලර් මිලියන 13.8) පොරොන්දු වී ඇති අතර, බෙදාහැරීම් සඳුදා ආරම්භ වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගලවා ගැනීමේ සහ ආධාර කණ්ඩායමක් තායිලන්තයට යවන ලෙස උපදෙස් දී තිබෙනවා 

මෙම කණ්ඩායම අද රාත්‍රී 10:30 ට ඊශ්‍රායලයෙන් පිටත් වන අතර එයට වෘත්තිකයන් 21 දෙනෙකු ඇතුළත් වන අතර සිරවී සිටින අවසාන පුද්ගලයා බේරා ගන්නා තෙක් ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

තවද හොංකොං, මැලේසියාව,රුසියාව, පිලිපීනය සහ දකුණු කොරියාව ද ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් සහ උපකරණ මේ වනවිට මියන්මාරය වෙත පැමිණ තිබෙනවා.

එක්සත් ජනපදය, යුරෝපා සංගමය, අයර්ලන්තය සහ නවසීලන්තය ද මූල්‍ය ආධාර ලබා දීමට පොරොන්දු වී ඇත. 

හානියට පත් මාර්ග, විදුලිය ඇනහිටීම් සහ සන්නිවේදන බිඳවැටීම් හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ළඟා වීමට බාධා එල්ල වී තිබෙනවා.

බොහෝ රෝහල් තුවාල ලැබූ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

මියන්මාරය තුළ දැඩි වෛද්‍ය සැපයුම් හිඟයක් ඇතිවිය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා.

මියගිය සංඛ්‍යාව ඉහළ යාමත් සමග අවශ්‍ය වෛද්‍ය සැපයුම් දැඩි හිඟයකට ලක්වනු ඇති බවටයි ජගත් සංවිධානය අනතුරු අඟවන්නේ.

එක්සත් ජාතීන්ගේ OCHA හදිසි ප්‍රතිචාර සම්බන්ධීකරණය ආරම්භ කර ඇති අතර, කම්පන කට්ටල, රුධිර බෑග් සහ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම්වල බරපතල හිඟයන් ඇතිවී තිබෙන බවයි ඔවුන් පවසන්නේ