Wednesday, April 2, 2025

General line - 0115112241

 සමානාත්මතාවය හා සාමුහිකත්වය ගොඩනැඟීමට ඉස්ලාම් දහමේ ඉගැන්වීම් ආදර්ශයක් කරගත යුතු බව ජනපති කියයි



රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් භක්තිකයන් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ආගමික සීමා අතික්‍රමණය කරමින් පොදු මිනිසත් බව සහ සාමුහිකත්වය ආමන්ත්‍රණය කරන්නා වූද, ආත්මාර්ථය වෙනුවට පරාර්ථය ප්‍රකට කරන්නා වූද ඊදුල් ෆිතර් උත්සවය සමරන සමස්ත ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බවයි එහි සඳහන් වන්නේ. 

සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තන රැසක් සමග දියුණු ශ්‍රී ලංකාවක් පිළිබඳ රටේ ජනතාව තැබූ අපේක්ෂා මල්ඵල ගන්වමින් නිදහස, සමානාත්මතාව, සාමුහිකත්වය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනැගීමට ඉස්ලාම් දහම තුළ වන මෙම ඉගැන්වීම් පරමාදර්ශයක් වනු ඇති බවද ජනාධිපතිවරයා පවසනවා. 

එසේම මහජන මුදල් සහ රාජ්‍ය දේපළ විනාශ කරන අශිෂ්ට දේශපාලන සංස්කෘතියක් වෙනුවට අල්පේච්ඡත්වය සහ පරිත්‍යාගය සහිත අනෙකාගේ සංවේදනා හමුවේ සංවේදී වන සහකම්පනීය දේශපාලන සංස්කෘතියක් සහ පුරවැසි සමාජයක් රට තුළ ගොඩනැගීමට රජය දරන උත්සාහයේදී රාමසාන් සමයේ භාවිතය මහඟු ආදර්ශයක් සපයනු ඇති බවද එහි සඳහන්.

ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින ඉස්ලාම් භක්තික සහෝදර සහෝදරියන් පූජනීය රාමසාන් උත්සවය සමරන මොහොතේ, සාමය, සමෘද්ධිය සහ ආධ්‍යාත්මික සැනසීම වෙනුවෙන් සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බවයි රාමසාන් දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසන්නේ. 

මෙම කාලය තුළ පිළිපදින සකාත් සහ සදකා පිළිවෙත, අවශ්‍යතා ඇති අය සමඟ බෙදා හදා ගැනීමේ වැදගත්කම පිළිබිඹු කරන අතර සැබෑ සමෘද්ධිය යනු අනිකාට නැගී සිටීමට අතදීම බව එහි දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව විවිධත්වයෙන් පොහොසත් ජාතියක් වන අතර, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය තුළින් අපගේ අනාගතය ශක්තිමත් කිරීමට අප සැම එක්ව ක්‍රියා කළයුතු බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙනවා.

රාමසාන් උත්සවය සහජීවනය, ඉවසීම, යුක්තිය සහ සාමය අරමුණු කොටගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාව සිහිපත් කරන බවද අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ රාමසාන් දින පණිවිඩයේ සඳහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද රාමසාන් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

තමා ගැන පමණක් නොව අනෙකා ගැනද සිතා කටයුතු කිරීම තුළ සැවොම ඇතුළත් කරගත් සෞභාග්‍යයක් කරා යාමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා එහි සඳහන් කර ඇත්තේ.

මේ අතර, රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා හෙට දිනයේද නිවාඩු ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය ඉකුත් දා නිවේදනය කළේ.