Wednesday, April 2, 2025

General line - 0115112241

ටොංගා රාජ්‍යයේ භූ කම්පනයෙන් පසු නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කෙරේ



ටොංගා රාජ්‍යයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු ඒ අවට ප්‍රදේශ සඳහා නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කර තිබෙනවා.

රික්ටර් මාපාංක ඒකක 7ක ප්‍රභලත්වයෙන් යුතු පළමු භූ කම්පනය සිදුව තිබූ අතර ඉන් අනතුරුව තවත් ප්‍රබල පසු කම්පන තුනක් ටොංගා දූපත් ආශ්‍රිතව සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනය නිවේදනය කළා.

එම පළමු ප්‍රබල භූ කම්පනයෙන් පසු ටොංගා දූපත් සමූහය අවට ප්‍රදේශවලට එම සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබුණා. 

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය එම අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණේ භූ කම්පනය සිදුවූ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300ක් ඇතුළත වෙරළ තීරයන්ටයි.

කෙසේවෙතත් පැය කිහිපයකට පසු ටොංගා රාජ්‍යයේ ආපදා කළමනාකරණ කාර්යාලය මගින් එම අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. 

මේ අතර පසුගිය සිකුරාදා මියන්මාරයට බලපෑ රික්ටර් මාපාංක 7යි දශම 7ක ප්‍රබලත්වයෙන් භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 1,700කට ආසන්නයි.