Sunday, April 13, 2025

General line - 0115112241

මර්වින් යළි ඇතුළට යයි - වියාලේන්ද්‍රන් ගෙදර යයි



අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කතරගම  ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා අද ඇප මත මුදා හැරුණා. 

ඒ, තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. 

කතරගම ඩිපෝ පාරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැණික් ගඟ අසල ඇති නිවස සදහා 2012 දී ඉදිකිරීම් අනුමැතිය  ලබා දිමක්  හා කුඨ ලේඛන  සකස්  කිරීමේ චෝදනාව මත අශෝක වික්‍රමසිංහ මහතා සිය නිවසේදී අද අත්අඩංගුවට ගත්තා. 

ප්‍රශ්න කිරිමෙන් පසුවයි ඔහු  තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණ වෙත යොමු කළේ. 

මේ අතර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 

එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති තවත් තිදෙනෙකු ද අප්‍රේල් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළවයි. 

මෙම සිද්ධියට අදාළව මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා ද මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද විවෘත වරෙන්තුවක් නිකුත් කළා.

මේ අතර අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව ඔහු  මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.