උප්පැන්න සහතික සාම විනිසුරුවරු විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදු කළ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියම කළා.
ඒ අනුව එම කරුණට අදාළව ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 35 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙසයි අධිකරණය විසින් නියම කර ඇත්තේ.
අදාළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල සාමදාන විනිශ්චකාරවරු විසින් සහතික කළ නාම යෝජනා පත්‍ර සහ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු මත නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය යුක්ති සහගත බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් 04 වනදා නිකුත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක නඩු තීන්දුවක සඳහන් කර ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විසින් පෙන්වා දුන් බව පැවසුවා.
ඒ අනුව මෙම කරුණට අදාළව තම අධිකරණය විසින් මීට පෙර ලබාදුන් තීන්දුව යළි සලකා බලන ලෙසත් මෙම කරුණට අදාළව අලුතින් ගොනුකර තිබෙන පෙත්සම් සලකා නොබලන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බවත් විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළා.
එහෙත් තම අධිකරණය විසින් එම තීන්දුව ලබාදෙන අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නිගමනය කර නොතිබූ බව පෙන්වා දුන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නිගමනය මෙම අවස්ථාවේදී තම අධිකරණයට අදාළ නොවන බවත් පැවසුවා.
ඒ අනුව අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
ඊට අමතරව එසේ ප්‍රතික්ෂේප කළ නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත තවත් රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරුන් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන්වුණා.
පොදු ජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.