Sunday, April 13, 2025

General line - 0115112241

චීනයෙනුත් අමෙරිකානු භාණ්ඩ සඳහා සියයට 125ක බද්දක්



අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කරන බදු සියයට 125ක් දක්වා ඉහළ නංවන බව චීනය අද ප්‍රකාශයට පත් කළා. 

ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන භාණ්ඩ ආනයනය සඳහා වන තීරුබදු සියයට 125ක් දක්වා ඉහළ නැංවීමට ගත් තීරණයට ප්‍රතිචාරයක් ලෙසයි. නව තීරුබදු පනවමින් චීනය ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරුබදු උපායමාර්ගය විහිළුවක් බවයි. 

ට්‍රම්ප් පරිපාලනය ලොව පුරා රටවල් 60කට සියයට 10 සිට සියයට 50 දක්වා වූ තීරුබදු පැනවීමට ඉකුත් දා තීරණය කළා. ඒ අනුව චීනයද අමෙරිකානු භාණ්ඩ සඳහා අයකරන තීරුබදු සියයට 34 සිට සියයට 84ක් දක්වා ඉහළ නංවනු ලැබුවා. 

නව බදු පැනවීම ඊයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළේ චීනය හැර අනෙකුත් රටවල් සඳහා පැනවූ නව බදු අය කිරීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවන බවයි. 

චීනය විසින් අමෙරිකානු භාණ්ඩ සඳහා අයකරන තීරුබදු ඉහළ නැංවීමට ප්‍රතිචාරයක් ලෙස චීන භාණ්ඩ සඳහා අයකරන බද්ද සියයට 125ක් දක්වා ඉහළ නංවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. 

එම ප්‍රකාශයෙන් පසු ධවල මන්දිරය පවසා තිබුණේ මීට පෙර පනවා ඇති සියයට 20ක තීරුබද්ද සමග චීන භාණ්ඩ ආනයනයේදී අය කරන තීරුබද්ද සියයට 145ක් දක්වා ඉහළ යන බවයි.