ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේගේ දේහය සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානය තුළ තැන්පත් කර තිබෙනවා.
ඒ, මෙරට වේලාවෙන් පස්වරු 01.30ට ඇරඹි උන්වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙයෙන් පසුවයි.
උන්වහන්සේගේ දේව මෙහෙය ශාන්ත පීතර චතුරශ්‍රයේදී කාදිනල් විද්‍යාලයේ පීඨාධිපති ජීයෝවානි බැටිස්ටා රේ විසින් මෙහෙයවනු ලැබුවා.
මිය යනවිට 88 හැවිරිදි වියේ පසු වූ ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ප්‍රථම ලතින් ඇමරිකානු පාප්තුමා සහ ලෝකවාසී බිලියන 1යි දශම 4ක පමණ කතෝලික බැතිමතුන්ගේ නායකයා ද වුණා.
මේ හේතුවෙන් රාජ්‍ය නායකයන් රැසක් ද පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා රෝමයට පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සහ අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලනියා ද අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් ද ආජර්ටිනාවේ ජනාධිපති ජේවියර් මිලෙයි, ඉතාලි අගමැති ජෝජියා මෙලෝනි, බ්‍රිතානයේ විලියම් කුමරු ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් ඒ අතරට අයත්.
එම අවස්ථාවේ දී අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර හමුවක් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් උන්වහන්සේගේ අවසන් දේව මෙහෙය සිදුවන අවස්ථාවේදී 50,000ක් පමණ ජනතාව ශාන්ත පීතර චතුරශ්‍රය තුළට රැස්ව සිටි බවද විදෙස් මාධ්‍ය පැවසුවා.
පාප් වහන්සේගේ දේහය තැන්පත් කරන ස්ථානයට පෙරහැරකින් දේහය රැගෙන යන අවස්ථාවේ දී එක් ලක්ෂ පනස් දහසක් පමණ ජනතාව රෝමයේ වීදිවල පෙළ ගැසී සිටි බව වතිකානය පවසනවා.
කෙසේ වෙතත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඉල්ලීම මත උන්වහන්සේගේ දේහය ලීයෙන් තැනූ පෙට්ටියක තැන්පත් කළ අතර සරල අවමංගල්‍ය උත්සවයක් සංවිධානය කර තිබුණා.
පාප් වහන්සේගේ ඉල්ලීම පරිදි “ෆ්‍රැන්සිස්කස්” යන නාමය සහිත ශිලා ලේඛනය පමණක් සහිත බිමෙහි සරල සොහොන් ගෙයක උන්වහන්සේ දේහය තැන්පත් කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මීළඟ අනුප්‍රාප්තිකයා මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර එය චාරිත්‍රානුකූලව, ඡන්දයක් මත සිදුවන බවයි වතිකානය පැවසුවේ.
එය පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් දින 15ත් 20ත් අතර කාලයක දී සිදුවිය යුතුව තිබෙනවා.