Sunday, May 4, 2025

General line - 0115112241

ජනපති වියට්නාම සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව යයි - ඡන්දය දිනයේ ආපසු එයි

ටී කේ ජී කපිල



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින නිල සංචාරයක් සදහා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. 

ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු 05 දෙනෙකු මෙම සංචාරය සඳහා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගිය බවයි කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ.

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පස්වරු 05.25ට ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 143 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව ගොස් ඇති අතර මුම්බායි නුවර සිට වෙනත් ගුවන් යානයකින් වියට්නාමය බලා පිටත්ව යාමට නියමිතයි.
 

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් මහතාගේ ආරාධනයකට අනුව සිදුවන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වියට්නාම රාජ්‍ය සංචාරය හෙට සිට ලබන 06 වන දා සිදුවනවා.
 

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සැපිරීම සනිටුහන් කරමින් සිදු කෙරෙන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වියට්නාම රාජ්‍ය සංචාරය තුළින් දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
 

මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපතිවරයා, වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත් එරට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමු වීමටත් නියමිතයි.
 

එමෙන්ම හෝ චි මිං නගරයේදී එළඹෙන 06 වන දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එහි ප්‍රධාන දේශනය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ජනාධිපතිවරයාගේ එම සංචාරයේදී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 
 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 06 වනදා ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.