Tuesday, May 6, 2025

General line - 0115112241

ගාසා තීරය අල්ලන ප්‍රහාරයකට ඊශ්‍රායල් කැබිනට් අනුමැතිය



හමාස් සංවිධානයට එරෙහි හමුදා ප්‍රහාර පුළුල් කිරීමේ සැලැස්මක් සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඊශ්‍රායල් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙන්නේ එයට ගාසා තීරය අල්ලා ගැනීමද ඇතුළත් වන බවයි. 

හමාස් සටන්කාමීන් විනාශ කිරීමට සහ එහි ඉතිරි ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද පවසා තිබෙනවා.

එය ගාසා තීරයේ ජීවත්වන මිලියන 2යි දශම 1ක ජනගහනය ආරක්ෂා කිරීම සඳහා ගෙන යනු ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

කෙසේවෙතත් හමුදාව විසින් ගාසා තීරයේ කොපමණ භූමි ප්‍රමාණයක් අල්ලා ගනු ඇත්දැයි ඔහු ප්‍රකාශ කර නොමැති නමුත්, “හමුදාව ගාසා තීරයට ඇතුළු වී පිටතට නොඑනු ඇති” යනුවෙන් අවධාරණය කර තිබෙනවා. 

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ආධාර ආයතන පවසා ඇත්තේ මෙම යෝජනාව මූලික මානුෂීය මූලධර්ම උල්ලංඝනය කිරීමක් බවයි. ඊශ්‍රායලය සිදු කරන මෙම ක්‍රියාව ප්‍රතික්ෂේප කළ යුතු බවයි හමාස් බලධාරීන්ද පවසා ඇත්තේ.